අපිත් ටිකක් අත ඇරලා බලමුද?

අද ලිපිය මම එකතු කරන්නේ ‘රසාස්වාද’ ගොඩට. ඒක නිසා ලියන්න හිතුවේ සරල විදිහට!

මෙන්න මෙහෙමයි අද වැඩේ. අපි හැමෝම අත් විඳලා ඇතිනේ ජීවිතේ අපිට හසුරවන්න, අපි කැමති විදිහට වැඩේ සිද්ද නොවෙන අවස්ථා. එහෙම වුනාම මමනම් හදන්නේ පුළුවන් තරම් දඟලල වැඩේ මට ඕනේ විදිහට හරවගන්න බලන ඒක. මේක කියවන ඔයාලත් බොහෝ දුරට එහෙම තමයිනේ කරනවා ඇත්තේ. ඒත් ඔය අස්සේ අපිට හම්බවෙනවනේ අපිට කිසිසේත්ම පාලනයක් නැති, වෙන එකක් නෙවෙයි ඔලුවෙන් හිටගෙන උත්සාහ කරත් අපිට කොහෙත්ම වෙනස් කරන්න බැරි අවස්ථා. එහෙම එකක් ආවමනම් ඉතින් වෙන්නේ මුකුත් නොකර පැත්තකට වෙන්නනේ. ඒවගේ අවස්ථාවල ඒ යටත් වීමේත්, ඒ අවස්ථාව පාලනය කරන්න යන එක නවත්තලා හැමදේම වෙන්නේ හොඳට කියන දේ තේරුම් ගන්න උත්සාහ කරමින් ඒ බලාපොරොත්තුවට ජීවයක් දීමේත්, හරියට අර අහසේ අතහැරිලා පාවෙලා යන සරුංගලයක වගේ අපූරු නිදහසක් තියන බව ඔයාලටත් හිතිලා තියනවා ද?

හිතිලා නැත්නුම් කමක් නෑ අදට, මොකද මටත් ඔය ඔක්කොම හිතෙන්නේ ගත්තේ උදේ පාන්දර Frou Frou කියන මේ ඉංග්‍රීසි සින්දුව ඇහුවට පස්සේ නිසා! මෙන්න ඒ සින්දුව ඔයාලත් අහල බැලුවනම්!

(පින්තූරය flickr වෙබ් අඩවියෙන්)

Advertisements

විටෙකදී කාන්තවන්හට සංස්කෘතිය = අලුගෝසුවාගේ තොන්ඩුව ද?

අද දෙසැම්බර් මස 1 වෙනිදා, ලෝක ඒඩ්ස් දිනය. ගබ්සාව හා ඒඩ්ස් අතර ඍජු සම්බන්දතාවක් නැති වුවත් බොහෝ දෙනාගේ සිත් තුල අප්‍රසන්නතාවය රඳවා යන මාතෘකාවක් වන ගබ්සාව පිළිබඳව වචන ස්වල්පයක් ගොනු කිරීමටයි මේ උත්සාහය.

අප පුවත් පත් කියවන විට, ගුවන්විදුලියට කන් යොමන විට දිනකට කී වතාවක් ගබ්සාව යන වචනය හමු වෙනවාද. සත්‍ය වන්නේ ගබ්සාව පිළිබඳ කොතෙක් වාද විවාද කලත්, ගබ්සාවට රජයෙන් අනුමැතිය ලැබුනත් නැතත්, ගබ්සාව නීති විරෝධියයි සැලකුවත් නැතත් එය දිගටම කෙරෙන දෙයක් බවයි. ඒ සමගම දිනකට කෙරෙන බොහොමයක් ගබ්සාවන් නිත්‍යානුකුලව ලේඛන ගත නොවන බවත්, එසේ සිදු කෙරෙන ගබ්සාවන් ප්‍රමාණයෙන් සුරක්ෂිත තත්වයෙන් කෙරෙන්නේ අල්පයක් බවත් අප සැම දන්නා කරුණක්.

ඒ අනුව බලන කල ගබ්සාවක් කර ගැනීම උදෙසා කාන්තාවන් මෙතරම් අසීරුතාවලට පත් වන්නේ ඇයි ද යන්න විමසා බැලිය යුතු කරුණක්.

අවිවාහක මවක් වීම සමාජය විසින් ඉතා දරුණු කැළලක් හැටියට සලකන හෙයින් අද බොහෝ තරුණියන් තම දෙමව්පියන් අපකීර්තියට පත් නොකිරීමට ගබ්සාවන් සදහා යොමු වෙනවා. ඉන් නොනැවතී ගබ්සාව අසාර්ථක වූ තැන ඔවුන්ගේ සිත් සිය දිවි හානි කරගන්නා තැනට යොමු වීම ඇත්තෙන්ම කනගාටුවට කරුණක්. බොහෝ දුරට මෙය මේ තත්වයට පැමිණෙන්නේ ගැබ් ගැනීමෙන් පසු සහකරු තරුණියව හැර යාමෙන්.

මා සිතනා අන්දමට ගබ්සාව කිසි විටෙකත් එළබීමට පහසු තීරණයක් විය නොහැකියි. ඒ තීරණය සුරක්ෂිත ගබ්සාවකට ඇති ඉඩකඩ අල්ප වීමෙනුත්, ගබ්සාව පිළිබඳ නිසි උපදෙස් දීමට ක්‍රමවේදයක් නැති වීමෙනුත්, අප සංස්කෘතියට අනුව පිතෘමූලක ආධිපත්‍යයෙන් විග්‍රහ කෙරෙන සමාජයේ කාන්තාව සතු භූමිකාවෙනුත් තවත් අසීරු කෙරෙන බව නොඅනුමානයි.

මේ අනුව කාන්තාවන් බොහොමයක් දෙනෙකුට සමාජය ඉදිරියේ තම ගෞරවය රැකගැනීම උදෙසා කිරීමට සිදුවී ඇති කැපකිරීම් වල තත්වය ඛේදනීයයි.

එසේ බලන විට වර්තමානයේ දී සංස්කෘතිය යනු ජන හද යා කරන සවිබල බැම්මද, එසේත් නැතහොත් කාන්තාවන් බොහොමයකගේ ගෙල මිරිකාලන අලුගෝසුවාගේ තොන්ඩුවදැයි යන ප්‍රශ්නය ඔබ හමුවේ තබමින් අද සටහනට නැවතුම් තිත තබන්නම්.